
කොවිඩ් 10 ගෝලීය වසංගතය ලෝකය වසාගත් කළු වලාවක් බවට පත්වෙමින් තිබෙන පසුබිමක ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත තුළ සිදුවූ ඇති වෙනස්කම් බොහෝය. ඒ සියලු කළු වලාවන් අතර ඇතැම් විට රිදී රේඛාවන් ද දැකිය හැකිය.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී දිවයිනේ සියලු පාසල් වසා දැමීමට සිදුවීමත් සමඟ මෙරට 43 ලක්ෂයකට ආසන්න පාසල් දූ දරුවන්ට තම නිවෙස්වලට වී කාලය ගත කරන්නට සිදු විය.
අනපේක්ෂිතව ලැබුණු එම නිවාඩු කාලය තුළ දරුවන් තුළ චිත්ත ශක්තිය, නිර්මාණ ශක්තිය හා අභියෝග ජය ගැනීමේ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණෙන් දියත් කෙරුණු‘රටක් වටිනා පොතක්’ නමින් පොත් දස දහසක් ලිවීමේ ජාතික වැඩසටහන ද එවැනි රිදී රේඛාවක් බඳු ය. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලය ඒකාබද්ධ වැඩසටහනක් ලෙස එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණු අතර ඒ සඳහා සහභාගි වූ සිසු සිසුවියන් දිරිගැන්වීමේ අරමුණින් ඔවුන් සියලු දෙනාට සහතික පත්‍රයක් පිරිනැමීමට සංවිධායක මඬුල්ල කටයුතු කර තිබුණි.
ඉකුත් 21 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් එහි පළමු අදියරෙහි සහතික පත් ප්‍රදානෝත්සවය පැවැත්විණි. දිවයිනේ පළාත් 9ම නියෝජනය වන පරිදි තෝරා ගත් සිසුන් තිස් දෙනෙකුට එහිදී සංකේතාත්මකව සහතික පත් ප්‍රදානය කෙරුණි.
දරුවන් පොත පතට නැඹුරු කර, රටට ලෝකයට ආදරය කරන වැඩදායී පුරවැසියන් ලෙස සමාජගත කිරීම අත්‍යාවශ්‍ය බවත් රටක් දියුණු කළ හැක්කේ ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් බවත් එහිදී ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම මීට පෙර ලෝකයේ කොතැනක හෝ පාසල් දරුවන් අතින් මෙතරම් විශාල පොත් ප්‍රමාණයක් එකවර ලියැවී ඇති බවක් නොදන්නා බවත් මේ ව්‍යාපෘතිය දරුවන්ගේ අනාගතය සඳහා අතිශයින් වැදගත් වන බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
0 Comments