උ/පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

 

පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවැති අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූවන් සංඛ්‍යාව 194,297ක් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගෙන ඇත්තේ චාවකච්චේරි හින්දු විදුහලේ ධනරාජ් සුන්දර්භවන් සිසුවාය. කලා අංශයෙන් ප්‍රෙස්බිටීරියන් බාලිකා විදුහලේ චමල්කා සෙව්මිණි සිසුවියට දිවයිනේ පළමු වැනියා ලෙස විභාගය සමත් ව ඇති අතර වාණිජ අංශයේ පළමු වැනියා ගාල්ල සංඝමිත්තා විදුහලේ සිසුවියකි.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) නිකුත් කෙරුණු අතර ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූ මුළු අයදුම්කරුවන් ගණන 194,297ක් වන අතර නව නිර්දේශය යටතේ 178,337ක් සහ පැරැණි නිර්දේශය යටතේ 15,960 ඊට අයත් වෙති. පසුගිය 2020 වසරේ අගෝස්තු මාසයේ පැවැති උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 362,824 දෙනකු පෙනී සිට ඇති අතර නව නිර්දේශය යටතේ අයදුම්කරුවන් 277,625ක් සහ පැරැණි නිර්දේශය යටතේ 24,146 දෙනකු ඊට අයත් වූහ. කෙසේ වුවද මෙයින් 86 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටවූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

උසස්පෙළ විභාගය මධ්‍යස්ථාන 2,648කදී සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව පැවැති අතර ඒ වනවිට රටේ ප්‍රදේශ කිහිපයක පැවැති නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවල දී උසස්පෙළ විභාගයට පෙනී සිටි විභාග අපේක්ෂකයන්ට එම බල ප්‍රදේශවල විශේෂ විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දුන්නේය.

 

0 Comments