ජාතික පොත් ව්‍යාපෘතිය

 

 

‘රටක් වටිනා පොතක්’ ජාතික පොත් ව්‍යාපෘතිය සඳහා පාසල් සිසු දරුවන්ට ළමා කතන්දර, පද්‍ය රචනා, යොවුන් සාහිත්‍ය කෘති, කෙටිකතා, නවකතා, නාට්‍ය රචනා, පරිවර්තන, ඓතිහාසික කතා, මායා කතා, මිථ්‍යා කතා, අභිරහස් කතා, උපමා කතා, ජන කතා, විද්‍යා ප්‍රබන්ධ, පරිසර විත්ති, චරිතාපදාන, ස්වයංචරිතාපදාන, සුරංගනා කතා, අතිශයෝක්ති කතා, ආගමික කතා, වීර කතා, විෂයානුබද්ධ පොත්, පුරාවෘත්ත සහ මිශ්‍ර යන කාණ්ඩය යටතේ පොත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබුණි.

ඒ යටතේ දිවයිනේ සියලුම රජයේ පාසල්, පිරිවෙන්, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන වසරේ සිට 13 වසර දක්වා වයස් කාණ්ඩ 3කින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබූ අතර ව්‍යාපෘතියේ ඉලක්කය ග්‍රන්ථ දස දහසක් වුවත් පිටපත් භාර ගැනීමේ අවසන් දිනය වන විට 43,000කට ආසන්න නිර්මාණ සංඛ්‍යාවක් දිවයිනේ සෑම පළාතකින්ම ලැබී තිබුණි. දරුවන් තුළ ඒ සම්බන්ධයෙන් තිබූ උනන්දුව එයින් මනාව පැහැදිලි වේ.

මෙම ව්‍යාපතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගෙන සිටින පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධනගෙන් අප මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් විමසුවෙමු.

“අපේ රටේ ළමයින් කියවනවා සහ ලියනවා අඩුයි කියන කාරණාව තවදුරටත් වලංගු නැති බව මෙම ජාතික පොත් ව්‍යාපෘතියට දරුවන් දැක්වූ උනන්දුව තුළින් පැහැදිලි වී තිබෙනවා. මූලික අදියරේදී අපි බලාපොරොත්තු වුණේ පොත් දස දහසක් වුණත් ඒ සංඛ්‍යාව මෙන් හතර ගුණයකටත් වඩා පොත් ලැබී තිබෙනවා. ඒ තුළින් ලිවීම, කියවීම ගැන අපේ දරුවන් තුළ තිබෙන උනන්දු කොයිතරම්ද කියලා පැහැදිලි වෙනවා. පොත් තෝරාගැනීම මූලික අදියරේදී සිදුවන්නේ ජාතික පුස්තකාල මණ්ඩලයේ උපාධිධාරී කාර්ය මණ්ඩලය විසින්. ඉන්පසු විද්වත් කමිටුවක් විසින් පොත් තෝරාගැනීම සිදුකරනු ලබනවා. එසේ තෝරාගන්නා පොත් 100ක් හෝ 200ක් මුද්‍රණයෙන් එළිදැක්වීමට අපි බලාපොරොත්තු වනවා.

නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා දරුවන් සහ මවුපියන් දක්වා තිබෙන දැඩි උනන්දුව සහ කැපවීම සැලකිල්ලට ගනිමින් අනුග්‍රාහකයන් සමඟ සාකච්ඡා කර තවත් වැඩිපුර පොත් සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමටත් අදහසක් තිබෙනවා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන්න සාම්ප්‍රදායික කියමනක් වුවත් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වන්නේ කෙසේද යන්න ගැන ළමුන් තුළ වගේම ඇතැම් වැඩිහිටියන් තුළත් වැටහීමක් නැහැ. කියවන්නන් වාලේ කියවන්නේ නැතිව තමන්ගේ දියුණුවට යොදාගත හැකි දේවල් කියවීමට දරුවන්ට අවස්ථාව සලසා දීමෙන් ඔවුන්ට වඩාත් හොඳ අනාගතයක් හැදෙනවා වගේම එය රටේ දියුණුවටත් ඉවහල් වෙනවා.”

මෙම ව්‍යාපෘතිය තුළින් ළමුන්ගේ ලේඛන හැකියාව දියුණු කිරීමට ලැබෙන අවස්ථාව පිළිබඳ ප්‍රවීණ ලේඛක, ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ දැක්වූයේ මෙවැනි අදහසකි.

‘‘මේ වගේ වසංගත කාලයක ළමුන්ගේ නිර්මාණ ශක්තිය දියුණුවන මෙවැනි වැඩපිළිවෙළක් යෙදීම ළමුන්ගේ මානසික සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට හේතුවක්.

ඊට අමතරව ළමුන්ගේ ලේඛන හැකියාව දියුණු කිරීම සඳහා ජාතික මට්ටමින් මෙවැනි පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම ඉතා යෝග්‍යයි. ළමුන්ගේ පැත්තෙන් බලන විට මෙය ඉතා යහපත් කාර්යයක්. මවුපිය, වැඩිහිටියන්ගේ සහ අධ්‍යාපන බලධාරීන්ගේ උනන්දුව මත එය ක්‍රියාත්මක වීම හොඳයි. අපේ රටේ අනාගත පරපුර ලියන කියන පිරිසක් බවට පත්කිරීම අත්‍යවශ්‍යයි.

තාක්ෂණය පැත්තට ඇති නැඹුරුව වැඩිවන විට තරුණ පරපුර භාෂාව ගැන දක්වන උන්නදුව අඩු බවක් පෙනෙන්නට තිබෙනවා. සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ලිවීමේ කුසලතාව වැඩි දියුණු කරගැනීමට මෙවැනි වැඩසටහන් ඉතා යහපත්. කියවීමෙන් පිරුණු මිනිසෙක් වෙනවා කියන කියමන ගොඩක් අය දන්නවා වුණත් එහි ඊළඟ වාක්‍යය බොහෝ දෙනෙක් අමතක කරනවා. කියවීමෙන් පිරුණු මිනිසෙක් වෙනවා වගේම ලිවීමෙන් නිවැරදි මිනිසෙක් වෙනවා. ඇත්තවශයෙන්ම මිනිසෙක් වඩාත් නිවැරදි පුද්ගලයෙක් බවට පත්වෙන්නෙ ලිවීමෙන්.

ඒ නිසා ලේඛකයෙක් විදිහට මගේ හැඟීම ළමුන්ට ලිවීමට දිරි දෙන මෙවැනි වැඩසටහන් ඉතා කාලෝචිතයි. නමුත් මෙම පොත් ප්‍රකාශයට පත්කිරීම ප්‍රමිතියක් ඇතිව කිරීම ඉතා වැදගත්. ළමයින්ගේ දෙයක් කියා සුළුකොට තකන්නේ නැතිව නිවැරදි, අරුත්බර නිර්මාණයක් ලෙසටයි එම පොත් එළිදැකිය යුත්තේ.”

ප්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන ද ‘රටක් වටිනා පොතක්’ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දැක්වූයේ සතුටිනි.

‘‘ රටේ අනාගත පරපුර අතර කියවීම හා ලිවීම පිළිබඳ මෙවැනි උනන්දුවක් තිබෙන බව අසන්නට ලැබීම පවා සතුටට කරුණක්. රටේ ජීවනාලිය බඳු දූ දරුවන් කියවීමට සහ ලේඛනයට උනන්දුවක් නැති වුණොත් මේ රට ආධ්‍යාත්මික කාන්තාරයක් බවට පත්විය හැකියි. එවැනි තත්ත්වයක් තුළ මෙම පොත් ව්‍යාපෘතියට විශාල දරුවන් පිරිසක් සම්බන්ධ වීම පිළිබඳ ඇත්ත වශයෙන්ම සතුටට කාරණාවක්.”

ප්‍රවීණ ලේඛක, සාහිත්‍ය වේදී ටෙනිසන් පෙරේරා ද පැවසුවේ මෙම ව්‍යාපෘතිය තුළින් රටේ අනාගත පරපුරට ලැබෙන ආලෝකය පිළිබඳවය.

“ ළමා පොත් රාශියක් ලියූ ලේඛකයෙක් විදිහට මා දකිනවා ළමයින් තුළ පොතපත කියවීමේ විශාල නැඹුරුවක් තිබෙන බව. ඔවුන්ට අවශ්‍යයි ලෝකය ගැන දැනගන්න. ඒවා ඉතා රසවත් විදිහට ඉදිරිපත් කරනවා නම් ළමුන්ගේ දැනුම වගේම කියවීමේ රුචියත් වර්ධනය වෙනවා. ඒ තුළ නිරායාසයෙන්ම ලිවීමටත් ළමයින් තුළ ආශාවක් ඇතිවෙනවා. ළමුන්ගේ මානසික මට්ටමට ගැළපෙන ලෙස ආකර්ෂණීය ලෙස ලියැවුණු පොතපත වැඩිපුර ළමුන්ට කියවීමට අවස්ථාව ලබාදිය යුතුයි. රජය විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය තුළින් සිසු දරුවන්ට ලබාදුන් අවස්ථාව අගය කරනවා. ඒ වගේම පුස්තකාල පහසුකම් අඩු පාසල්වල ළමුන්ට කියවීමේ පහසුකම් තවදුරටත් වැඩිකිරීමටත් පියවර ගත යුතුයි. ඒ සඳහා රජය හරහා පුස්තකාල සේවා මණ්ඩලය මඟින් මේ වන විටත් ක්‍රියාත්මක කරන දුෂ්කර පාසල්වලට පුස්තකාල බස් ලබාදීම වැනි ව්‍යාපෘති ඉතා ආකර්ෂණීයයි.”

0 Comments